"Through the mist"

සුගිය දවසක එක්තරා රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා ආරාධනා ලැබ එහි පිවිසි මට මගේ මුල් කාලින දිය සායම් චිත්‍රයක් නැවත දැක ගන්න වාසනාව ලැබුනා. 
මගේ ශිල්පීය ජීවිතය ආරම්භක කාල වකවානුවට මම ඒ කුඩා චිත්‍රය දුටු සැනින් යලිත් වේගයෙන් ගමන් කලා. හිතට නොයෙක් සිතුවිලි ගලාගෙන ආවා. ඒ දාඩිය සුවඳ මට තාමත් ඒ චිත්‍රයෙන් දැනෙන බව මම දන්නවා.. අතීතය, වර්තමානය සහ අනාගතය එකිනෙකට යා උන ඒ මොහොත කොහොම නම් අමතක කරන්නද? 

නොදන්නා තැන් හොයාගෙන රෑ දවල් නැතුව පාරවල් වල ඔහේ පයින් ඇවිදපු හැටි..
විදුරු දාලා ලස්සනට රාමු කරලා හොද නිමාවක් ගන්න වෙච්ච මහන්සිය..
ඇඳපු චිත්‍ර පරෙස්සමට තියාගන්න තැනක් නැතුව ඉන්නකොට  ඒවාට ඉඩක් දුන්න නිපුණි, අයෝධ්‍යා.. 
ලස්සනට පොටෝ ටික අරන් දීලා ගොඩක් උදව් කරපු මයන්ත..
ජේ. ඩී. ඒ. පෙරේරා ගැලරිය ශිෂ්‍යන්ට ලබා ගන්න බැරි කාලයක මම වෙනුවෙන් එක කරපු ඉරෝෂාන්...
චිත්‍ර ටික එල්ල ගන්න ගොඩක් මහන්සි වෙලා උදව් කරපු ප්‍රසන්න, භානුක..
පුළුවන් විදිහට සල්ලි එකතු කරලා රසම රස කොෆි එකකින් සංග්‍රහයක් ලෑස්ති කරපු අමිල, සජිත්..
ප්‍රදර්ශනයට ලස්සන නමක් දාලා දුන්නු සම්පත් සර්..
මුදල් මදි වෙලා උදව් කරපු සරත්චන්ද්‍ර සර්..
ඇතුළුව උදව් කල හැමෝම..
ඒ උද්දාමයත් එක්කම මතක් වෙලා, මොහොතකට මම ආපහු  ඒ අතීතයට ගියා.. 
 
සමාරම්භක දවසේ අපි හැමෝම ගැලරියේ විශාල අවකාශයේ තේරුමක් නැති කතා කිය කිය හිනා වේවි හිටිය හැටි මට තාම මතකයි.. 
"අනේ..! ඒ කාලය ආයෙත් එනවා නම් !"
චිත්‍රය දිහා බලාගෙනම ඒ අතීතය පාමුල ඉන්න මට නිකමට වගේ හිතුනා.. 

එකල ශිෂ්‍ය නේවාසිකාගාරයේ ජනේලයෙන් ආව හිරිකඩ එකතු වෙලා පුංචි දිය පාරක් හැදිලා, තෙමිලා නැවත වියලුනු..
තැනින් තැනට ලොකර් එකෙන් ලොකර් එකට මාරු වේවී.. ත්‍රී වීල්, බස් වලින් වගේම දාඩිය තැවරුණු අත් වලින් එහෙ මෙහෙ ගිය චිත්‍රය අද ඒ කතා ඔක්කොම හංගගෙන ඉන්න දර්ශනය හැමදාම මට උණුසුම් බලාපොරොත්තු එක් කරාවී.!





"Through the mist" මගේ පලවෙනි දිය සායම් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 2016 වසරේදී. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජේ. ඩී. ඒ. පෙරේරා ගැලරියේ ශිෂ්‍යයෙකු ඉගෙන ගන්නා අවදියේ කරපු පළමුවැනි ඒක පුද්ගල ප්‍රදර්ශනය තමයි ඒක. එතකොට මම යන්තම් දෙවන වසරේ..
මේ සිතුවම ඒ ප්‍රදර්ශනයේ තිබුණු අභිමානවත් චිත්‍රයක්. ඒ ප්‍රදර්ශනයේදී කිසිම චිත්‍රයක් අලෙවි උනේ නෑ.  චිත්‍ර විකිණීම මගේ මූලික අරමුණක් උනේ නෑ. මට උවමනාව තිබුනේ ආදරණීය චිත්‍ර ටික ප්‍රදර්ශනය කරන්න විතරයි. 
මේ චිත්‍රය අලෙවි උනේ ඊට මාස කිහිපයකට පසුව !

සඳතාරක අබේසිංහ 
2025-10-14