මේ සටහන ලියන්න කාලයක් තිස්සේ බලාගෙන ඉන්න උනා වෙලාවක් වෙන් කර ගන්න. අද දවස 2025-05-12 වැනිදා ඒ කියන්නේ වෙසක් පෝය දිනය.! බුදු හාමුදුරුවෝ ක්‍රි: පූ: 6 වැනි සියවසේ ඉපදිලා තියෙන්නේ අද වගේ දවසක. ඒ වගේම බුදු වීමත් පිරිණිවනත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙන්නේ මේ දවසට අදාලව. ඒ කියන්නේ බුදු හාමුදුරුවෝ මේ ලෝකෙට පහල වෙලා අදට අවුරුදු 2648ක් ! බුද්ධත්වය ලබලා අදට අවුරුදු 2613ක් ! පිරිණිවන් පාලා අදට අවුරුදු 2568 ක්!. මෙච්චර ලොකු කාලයක් ගිහිල්ලත් බුදු දහමේ දැනුම් පද්ධතියට අදාල සංවාද සාකච්චා අප අතර පවතිනවා. ඒක වෙනම කලාපයක් !
බුදු හාමුදුරුවෝ ඉපදෙන්නේ ඉන්දියාවේ. ඉස්සර අපිට බුද්ධ දර්මයට ඉගැන්නුවේ දඹදිව කියලා. ඒ නමේ මොකද්දෝ කිසියම් බෞද්ධ මූලයක් තියනවා. ඇහෙනකොටත් හිත ශ්‍රද්ධා බර වෙනවා !
මම ඉන්දියාවට කිහිප සැරයක් ගිහින් තියනවා. අන්තිම පාරට ගියේ 2025 පෙබරවාරි මාසේ. ඒ කියන්නේ මේ අවුරුද්දේ. මෙවර නවදිල්ලි නුවර තිබුණු ඉන්දියා ආර්ට් ෆෙයා(ර්) එකේ මගේ චිත්‍රත් ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබුනා. ඒ කාලය උද්යෝගිමත් කාලයක් !
ඉන්දියා ආර්ට් ෆෙයා(ර්) එක දකුණු ආසියාවේ සමකාලීන කලාව සඳහා ප්‍රමුඛතම වේදිකාවක්. ඒ වගේම ඒක වාර්ෂිකව නවදිල්ලි නුවර පැවැත්වෙනවා. එය දකුණු ආසියානු සහ ගෝලීය කලා ලෝකය එකිනෙකට යා කරන සංස්කෘතික පාලමක්.! මේ උළෙල ආරම්භ කරලා තියෙන්නේ 2008 දී. අවසන් වරට පැවැත් වූ උළෙල සඳහා ලොව ප්‍රධාන කලාගාර 80 ක් පමණ සිය සහභාගිත්වය සනිටුහන් කරලා තියනවා. විවිධාකාර ප්‍රදර්ශන කුටි ඉතා ඉහල තාක්ෂණික යෙදවුම් ඔස්සේ ඉදිකරලා තිබුනා. මේ කාලයේ නව දිල්ලි නුවරට අධික සීතල කාලගුණයක් පැවතුන නිසා ඇඟ වැහෙන්න කළු සීත කබා හැම කෙනෙක්ම පාහේ ඇඟ ලා ගෙන හිටියා. ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙලා ඔලුව උස්සලා බලනකොටම මම දැක්කේ එහෙට මෙහෙට යන මිනිස්සු… ඒක හරියට යුරෝපයේ සීත කාලෙට දකින්න ලැබෙන දසුනක් වගේ.. එළිමහන් අවල් හල් වල තියෙන එක එක නවීන පන්නයේ පුටු වල වාඩි වෙලා ආහාර පාන ගන්න මිනිසුන්ගේ ශබ්දය එකම ඝෝශාවක්, හරියට කුරුලු රන්චුවකගේ කිචි බිචිය වගේ.! සමහර පුටු වලින් කොටසක් යන එන පාරටත් ඇවිත් තිබුනා. ඒ හරියෙන් බිම බලාගෙන පරෙස්සමින් යන්න ඕන ! මම මිනිසුන් ඉන්න පැත්ත බලා නොබලා මෙන් ඉක්මනින් යන්න පටන් ගත්තා. එත් එක්කම දකුණු පසින් කුඩා පොත් අලෙවි සැලකට සමාන කුටියක් තිබුනා. නුතන හැඩ සහිත පොත් රාක්ක වල පොත් කිහිපයක් අසුරා තියනවා මම හොඳින්ම දැක්කා. ඒවායින් එක පොතක නමක් කියවා ගන්න මම ඔලුව ඇල කරලා අසාර්ථක උත්සහයකුත් ගත්තා.!
ඒත් සමඟම මට මතක් උනා චිත්‍ර ඇඳීමට උවමනා බඩු මුට්ටු අලෙවි සැල් වුවත් මේ අවට තියෙන්න පුළුවන් බව. ඒත් ඒ ක්ෂණයෙන්ම මම ඒ ගැන පස්සේ විපරම් කරනවා කියලා හිත සනසා ගෙන ඉක්මනින් ප්‍රදර්ශන කුටි තිබෙන ශාලාවට ඇතුල් උනා.
“එක එක ජාතියේ මිනිස්සු!”
කලා කෘති නරඹන මිනිස්සු, කලා නිර්මාණ එකතු කරන මිනිස්සු, විශ්වවිද්‍යාල වල ඉගෙන ගන්න ළමයි, මාධ්‍යවේදීන් වගේ සංස්කෘතිකව සහ කලාපීය වශයෙන් විවිධත්වයක් තියෙන එකම එක මිනිස් කලාපයක්. එයට නොදෙවෙනි සුවිශාල කලා නිර්මාණ එකතුවක් ! මම මගේ නිර්මාණ කිහිපය දැක බලා ගැනීමෙන් අනතුරුව මදක් එතන ඉන්න ගමන් මේ ගැනත් හිතුවා…
මමත් ටික වෙලාවකින් ඔය කියන මිනිසුන් අතරට මුහු උනා. ඒ මේ අත ඇවිදගෙන ගියා. කිසිම පාරක් තොටක් ගැන දැනීමක් මට තිබුනේ නෑ. මම සමහර කලා නිර්මාණ අසල බොහෝ වෙලාවක් එක එක දේවල් හිත හිත ඉන්නටත් ඇති.!
හරියට නිකං හුළගට අහු උන පුළුන් කැල්ලක් වගේ ඔහේ පා වේවි මම යනවා. සමහර වෙලාවට මම කලින් ගියපු පාරවල් වල ආයේ ආයේ යනවා. "මේ පාරේ ගියානේ" මම මටම කියා ගන්නවා. එතකොටම මම ඒ පාරට අල්ලපු වෙනත් පාරක් පැත්තට හැරිලා යන්න යනවා. පලවෙනි පාරට මේ උළෙල බලන්න යන ඕනෑම කෙනෙක්ට වෙන සාමාන්‍ය දෙයක් තමයි ඒක. ඒ තරමට දැවැන්ත බවක් ඒකේ තියනවා…
ඔහොම ඇවිදන් යනකොට එක චිත්‍රයක් මම දැක්කා. මම ඒකට ලං උනා. ඒ චිත්‍රය රාජා රවී වර්මාගේ. මම තවත් ලං වෙලා අත්සන් කරලා තියෙන නම කියවන්න උත්සහ කලා. ඒ එයාගේ නම තමයි.!
රාජා රවී වර්මා කියන්නේ යුරෝපිය ශාස්ත්‍රාලීය කලා ශිල්පය ඉන්දියානු සංස්කෘතික විෂයන් හා තේමාවන් සමඟ මිශ්‍ර කිරීම සඳහා ප්‍රසිද්ධ පළමු පුරෝගාමී ඉන්දියානු කලා කරුවෙක්. ඔහු නූතන ඉන්දියානු කලාවේ පියා ලෙස හැඳින්වෙනවා. හින්දු දෙවිවරුන්, දේවතාවියන් හා ඉන්දියානු මිත්‍යා කතා වලින් සමන්විත වීර කාව්‍යය දර්ශන පිලිබඳ යථාර්ථවාදී තෙල් සායම් සිතුවම් සඳහා ඔහු ප්‍රසිද්ධයි. ඒ වගේම ඔහු නවතම ඉන්දියානු හැඩයන් සහිත දෘශ්‍ය සංස්කෘතියක් හරහා සමාජයට ආමන්ත්‍රණය කරපු කෙනෙක්. ඔහු ඉන්දියානු සංස්කෘතික උරුමය ආරක්ෂා කොට ගෙන ඉන්දියානු කලාව නවීකරණය කල ශිල්පියෙක්..
ඔහු මේ චිත්‍රය ඇඳලා තියෙන්නේ 1893 දී… ඔහු මිය යන්නේ 1906 දී... ඒ කියන්නේ ඔහු ජිවිතයේ අවසාන කාල පරිච්චේදයේ ඇන්ඳ එකක්.! මේ චිත්‍රය ඇඳලා අවුරුදු 13කින් විතර ඔහු මිය යනවා.
ඒ වගේම මේ චිත්‍රය ඇඳලා අවුරුදු 132 කට පස්සේ 2025 දී මම මගේම ඇස් දෙකෙන් ඒක බලනවා. ඒ වෙනකොට ලෝකයේ ඇස් කීයක් නම් මේ චිත්‍රය ඉස්සරහට ඇවිල්ලා බලලා ඇත්ද? මගෙන් පස්සේ කී දෙනෙක් නම් ඒ චිත්‍රය ඉස්සරහට වෙලා බලන්න ඇත්ද? රාජා රවී වර්මා එදා මේ චිත්‍රය අඳිනකොට කීයටවත් ඒ ගැන නම් හිතුවේ නැතුව ඇති…!
ඔහුගේ ජීවිත කාලය පුරාම, එවකට බ්‍රිතාන්‍ය යටත් විජිත කරණය ඉන්දියාවේ ක්‍රියාත්මක උනා. ඒ හරහා යුරෝපීය ශාස්ත්‍රාලීය කලා ප්‍රවණතාවය සහ ඒහා සමගාමීව දිවෙන මහා චිත්‍ර කලා සංස්කෘතික දැනුම් පද්ධතිය දකුණු ආසියාවට කාන්දු වෙන්න පටන් ගන්නවා.
මේ චිත්‍රය දකින මෙම විෂයට උනන්දු බොහෝ මිනිස්සු ඒ ඒ මට්ටමින් මේක අධ්‍යනය කරනවා. තමන්ගේ දැනුම් කලාපයන්ගේ සිට නුතනත්වය සමඟ ගලපලා ඒක කියවන්න උත්සහ කරනවා. තෙල් සායම් චිත්‍රයක් යුගයෙන් යුගයට දැනුම සහ ඊට අදාල අධ්‍යාපනික වටිනාකම් කැටුව යන මහා කාරකයක් බවට පත් වෙන්නේ අන්න එහෙම.!
සඳතාරක අබේසිංහ
2025-05-12

