කොහේ හරි ඈතක ඉඳන් හිත සැනසෙන මල් සුවඳක් එක්ක එන පුංචි හුළඟ, තැනින් තැන වැවුණු ඇල්බීසියා ගස් අස්සෙන් හීනියට පෙරිලා එන ගමන් මොකක් හරි රහසක් ඒ ගස් වලට කියාගෙන යනවා. ඒ අතරින් පතර උසම උස ජිරාෆ්ලා වගේ ඉන්න පොල් ගස් වලට නම් ඒ හුළඟ දැනෙන්නේ වත් නැති ගානට උජාරුවෙන් වගේ හෙල්ලෙන්නේ වත් නැතුව ඉන්නවා. ඒ උනාට හුළඟ කියාගෙන යන රහස එයාලට තේරෙනවා. අප්‍රේල් මාසේ ඉවර වෙලා ඊලග මැයි මාසය එනකොටම වෙසක් සිරියෙන් මුළු රටම සුදු පාටින් බබලනවා. ඒකට ලෑස්ති වෙන්න කියන පණිවිඩය තමයි කාටත් හොරෙන් ඔය කියනවා ඇත්තේ !
කේක් දන්සල පටන් ගන්නකම් කෝච්චියක් වගේ මිනිස්සු පෝලිමක් හැදිලා පාර අයිනට වෙලා ඉන්නවා. පෝලිමේ ඉන්න පොඩි අය අම්මලා ළඟ ඉඳලා ඉඳලා බැරිම තැන ටිකෙන් ටික පාර පැත්තට යනවා. හෙමින් හෙමින් මිනිස්සු මගෑර මගෑර ඉස්සරහට එන වාහන දැක්කම අම්මලා පෝලිම මොහොතකට අමතක කරලා ගිහින් අර පොඩි අයව ඇදගෙන ආයෙත් පෝලිමට එනවා. ඔහොම ඔහොම කිහිප සැරයක් වෙනවා..! මොටෝ බයිසිකල් වල ආව අය හෙල්මට් දා ගෙනම ඉන්නවා. එහේ මෙහේ ඇවිදිනවා. එක එක ඒවා කියෝනවා. දැන් පෝලිම එකම ගෝසාවක් !
එහෙට මෙහෙට යන පොඩි අය කෑ ගහගෙන හිනා වේවි පෝලිම පැත්තට දුවගෙන එනවා. අපිළිවෙලට තිබ්බ පෝලිම දැන් පිළිවෙලට හැදෙනවා. අඩියෙන් අඩිය පෝලිම ඉස්සරහට යනවා. හරිම හෙමින් !
බෆල් එකකින් පළාතටම ඇහෙන්න සිංදුවකුත් ඒ හරියෙන් ඇහෙනවා. ඒක කොයි වේලාවේද දැම්මේ කියලා නම් මට ගානක් නෑ ! ලොකුම ලොකු බොරු බඩක් එක්ක වෙස් මුණක් දා ගත්තු කෙනෙක් ඒ සින්දුවේ තාලෙට නටනවා. නටන ගමන් පෝලිමේ ඉන්න පොඩි අයට එක එක ඒවා කරනවා. මිනිස්සු එක කටට කේක් ගිලිනවා. සමහරු කේක් කෑලි ගොඩක් අතින් මිරිකගෙන එතනින් කලබලෙන් වගේ යනවා. ටික දෙනෙක් බාගෙට කාලා එතනම බිම දාලා යනවා. සමහරුන්ට ඒවා පෑගෙනවා. කේක් බෙදන අයත් ඉක්මනින් ඉක්මනින් ඒවා දෙනවා.
අපිට ගොඩක් සතුටුයි !
සඳතාරක අබේසිංහ
2026-06-18
